ඇමරිකාව හඳට රැගෙන ගිය නාසි විද්‍යාඥයින්

විශ්මිත ප්‍රහාරය

1944 වර්ෂයේ මැද භාගය වනවිට ජර්මනියට තමන්ගේ පරාජය තම ඉදිරියේම මැනවින් පෙනි පෙනී තිබුණා. ජර්මානු නාසි හමුදාවන් රුසියාවේදී රතු හමුදා හමුවේ අන්ත පරාජයක් ලැබූ අතර එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන් නෝමැන්ඩි ප්‍රදේශයෙන් සාර්ථකව ප්‍රංශයට ඇතුල් වුණා. ලැබුණු දරුණු පරාජයන් හමුවේ හිට්ලර් සහ නාසි හමුදා ප්‍රධානින් වියරු වැටී තිබු අතර ඔවුන්ට අවසන් වශයෙන් මිත්‍ර සහ රතු හමුදාවන් වෙත දැඩි ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍යව තිබුණා. ඒ අනුව තමයි මෙතෙක් පර්යේෂණ තත්වයේ තිබුණු V-2 රොකට් මිසයිලය ප්‍රථම වරට 1944 සැප්තැම්බර් 8 වෙනිදා ප්‍රංශයේ පැරිස් නගරයට පතිත වීම සිදුවන්නේ.

මෙම විශ්මිත ප්‍රහාරයෙන් මිත්‍ර හමුදාවන් භීතියෙන් ඇළලී ගිය අතර V-2 රොකට් මිසයිලය ලොව ප්‍රථම දිගු දුර අන්තර් මහද්වීපික නියෙමු (guided) මිසයිලය ලෙස ඉතිහාස පොතට එකතු වුණා. කෙතරම් දියුණු ආයුධ තිබුනත් අවසානයේ යුද්ධයෙන් පරාජයට පත්වූ ජර්මනිය 1945 මැයි 9 වෙනිදා තමන්ගේ යටත්වීම ප්‍රකාශ කරනවා. මේ වෙනකොට V-2 රොකට් මිසයිලය 3172ක් පමණ ජර්මනිය විසින් මිත්‍ර හමුදාවන්ට පහරදීමට යොදාගෙන තිබුණා.

දැනුම දඩයම

යුද්ධය නිම වුනද ජයග්‍රාහී පිලෙහි බලවතුන් වූ එක්සත් ජනපදයට සහ සෝවියට් දේශයට සැඟවූ න්‍යායපත්‍රයන් තිබුණා. ඒ තමයි තමන් භීතියෙන් ඇළලී ගිය V-2 රොකට් තාක්ෂණය තමසතු කරගැනීම. ජර්මනියට පැමිණි එක්සත් ජනපද සහ සෝවියට් හමුදාවන් ලහි ලහියේ V-2 රොකට් නිෂ්පාදන මධ්‍යස්ථාන සහ උපකරණ තමන්ගේ භාරයට ලබාගත්තා. නමුත් උපකරණ ලබාගත් පමණින් තමන්ට V-2 රොකට් නිෂ්පාදනය කිරීමට නොහැකි බව මෙම පාර්ශව දෙකටම වැටහී තිබුණා. ඒ අනුව තමයි එක්සත් ජනපදය Operation Paperclip මෙහෙයුම දියත් කරන්නේ.

Operation Paperclip මෙහෙයුමෙන් එක්සත් ජනපදයට පැමිණි විද්‍යාඥයින් පිරිසක්

Operation Paperclip හි මුලික අරමුණ වුනේ නාසි විද්‍යාඥයින්ගේ දැනුම එක්සත් ජනපදයේ අභ්‍යවකාශ ගවේෂණ සහ යුධමය පර්යේෂණ සඳහා ලබාගැනීම. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ සැනෙකින් එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව සීතල යුද්ධයකට පැටලෙන්නේ ලෝක බලවතා වීමට. එක්සත් ජනපදයේ මෙම හීනය සැබෑ කිරීමට නාසි විද්‍යාඥයන් රුකුලක් වෙනු ඇතැයි එවකට එකසත් ජනපද ජනපති හැරී එස්. ට්‍රුමන් ප්‍රමුඛ රජය සහ යුධ ප්‍රධානීන් විශ්වාස කෙරුණු අතර ඒ අනුව නාසි විද්‍යාඥයින් සිය ගණනක් ජර්මනියේ සිට එක්සත් ජනපදයට රැගෙන එනවා. මෙසේ පැමිණි පිරිස අතර ගුවන් ඉංජිනේරු  Adolf Busemann, V-2 ව්‍යාපෘතියේ පුරෝගාමී සාමාජිකයෙක් වූ Arthur Rudolph සහ  Wernher von Braun සිටියා. මොවුන් එක්සත් ජනපදයට රැගෙන ආවද ඒ සම්බන්ධව තොරතුරු ඇමෙරිකානු ජනයා වෙත මුදාහැරුණේ නැහැ. එයට හේතුවක් තිබුණා.

නාසි සෙවනැලි

මෙසේ එකසත් ජනපදයට පැමිණි විද්‍යාඥයින්ගේ ඉතිහාසය එතරම් හොඳ වුනේ නැහැ. මොවුන් බොහෝදෙනෙක් නාසි පක්ෂයේ සහ බිහිසුණු SS කල්ලියේ සාමාජිකයන් වුනු අතර යුධ සමයේ බිහිසුණු සහ මිලේච්ඡ ක්‍රියාවන් වල හවුල්කාරයන් වුණා. ජර්මානු යුධ අපරාධකරුවන්ට නියුරම්බර්ග් නඩු වාරයේදී දඩුවම් ලැබුනද මෙලෙස එක්සත් ජනපදයට පැමිණි අපරාධකරුවන්ට කිසිදු නඩු ඇසීමක් හෝ දඩුවම් දීමක් සිදුවුනේ නැහැ. ඔවුන් එක්සත් ජනපදයේදී නිදහස් පුද්ගලයින් ලෙස ජිවත්වුනා.

මෙහිදී විශේෂයෙන්ම Arthur Rudolph සහ Wernher von Braun ගැන සඳහන් කල යුතුයි. මොවුන් ජර්මනියේදී තමන්ගේ නිෂ්පාදන කම්හල්වලදී යුධ සිරකරුවන්ගෙන් අමානුෂිකව ශ්‍රමය සූරාකෑ අතර එම සිරකරුවන්ට අවම මානුෂික අවශ්‍යතාවයන් පවා සැපයුයේ නැහැ. සංඛ්‍යාලේඛන වලට අනුව Arthur Rudolph ගේ Mittelwerk කම්හලේදී පමණක් සිරකරු ශ්‍රමිකයෝ 20,000ක් පමණ මියගියා.

 

Arthur Rudolph

 

Wernher von Braun

අභ්‍යවකාශ තරණය

Wernher von Braun එක්සත් ජනපදයට රැගෙන ආ පසුව ඔහු එක්සත් ජනපද යුද හමුදාවේ intermediate-range ballistic missile (IRBM) වැඩසටහනේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කළා. එක්සත් ජනපදයේ පළමු චන්ද්‍රිකාව වන Explorer 1 කක්ෂගත කිරීමට භාවිතා කලේ  Wernher von Braun විසින් නිර්මාණය කල රොකට් එන්ජින්. IRBM වැඩසටහනෙන් පසුව Wernher von Braunව NASA ආයතනයට මාරු කරනවා. එහිදි ඔහු Marshall අභ්‍යවකාශ සටන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙස පත්වීමක් ලබනවා. මේ කාලයේදී තමයි ඔහු ඇපලෝ යානය සඳහා Saturn V රොකට් එන්ජිම නිර්මාණය කරන්නේ.

නාසි පාලන කලයේදී Mittelwerk භූගත කම්හලේ පාලකයා වුනේ Arthur Rudolph. මෙම කම්හලේදී කම්කරුවන්ට අවමවූ පහසුකම්වත් ලබාදීමට Arthur Rudolph ක්‍රියාකරේ නැහැ. ඔහුගේ භූගත කම්හලේදී බොහෝ සිරකරු කම්කරුවන්ගේ දෛවය විසඳුනා. නමුත් එක්සත් ජනපදයට පැමිණ නව ජීවිතයක් ආරම්භකළ Arthur Rudolph, MGM-31 Pershing මිසයිලය සහ Saturn V නිෂ්පාදනයට තම දායකත්වය ලබාදුන්නා.

Mittelwerk කම්හල සහ එහි සේවය කල කම්කරුවන්

Hermann H. Kurzweg නාසි ජර්මනියේ සිටි ප්‍රකට විද්‍යාඥයෙක්. ඔහු supersonic wind tunnel සහ aerodynamic පිළිබඳව පර්යේෂණ කළා. එක්සත් ජනපදයට පැමිණි පසුව ඔහු Maryland වල පිහිටි Naval Ordinance Laboratoryහි ප්‍රධානියා ලෙස කටයුතු සිදුකලා. මීට අමතරව Werner Dahm, Konrad Dannenberg, Kurt Heinrich Debus, Walter Robert Dornberger, Eberhard Friedrich Michael Rees, Ernst Stuhlinger සහ Hubertus Strughold Paperclip මෙහෙයුම මගින් එක්සත් ජනපදයට පැමිණි නාසි විද්‍යාඥයන් අතර සිටිනවා.

නාසි පාලනය අතරදී කෙතරම් අපරාධ වලට මොවුන් සහය වුවත් කිසිදිනක මොවුන් නඩු විභාගයකට හෝ දඩුවම් පැමිණීමකට මොවුන් ලක්වුණේ නැහැ. ඉතිහාසයේ කෙසේ හැසිරුනද එක්සත් ජනපදයට සහ විද්‍යාවට මෙම විද්‍යාඥයින් විසින් දැනුම් සම්භාරයක් තිලිණ කළා.

The post ඇමරිකාව හඳට රැගෙන ගිය නාසි විද්‍යාඥයින් appeared first on TechWire.





Source From techwire
Author: Vidura Dantanarayana
#SriLanka #News #lka

Powered by WPeMatico