ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට පහරදෙයි – රුසියා ආරක්ෂක කවුන්සිලය කැඳවයි

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා එක්ව ඊයේ (13) සහ අද (14) සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රුසියාවේ ඉල්ලීම පරිදි අද ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියානු රජයේ හමුදාවලට චෝදනා එල්ල වී තිබෙන අතර එම චෝදනා පදනම් කරගෙන මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කර ඇත.

සිරියානු ආණ්ඩුව මෙන්ම රුසියාවද එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන අතර මෙම සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක්ද හට ගත්තේය.

සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂාර් අල් අස්දාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාවලට එරෙහිව දියත් කරන විශාලතම ප්‍රහාරය සහ මැදිහත්වීමද මෙය බව සැළකේ.

සිරියානු ජනාධිපතිවරයාගේ සහ රජයේ හමුදාවලට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ නිවේදනය කළ අතර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙසද ඔහු අණ කළේය. ඔහු අණදුන් විගස සිරියාවේ ඩැමැස්කස් නුවරින් විශාල පිපිරුම් හඬවල් ඇසී තිබේ. ඉන් ටික වේලාවකට පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාද එම ප්‍රහාරවලට එක්වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර ඇත.

වසර හතක් තිස්සේ දිග්ගැස්සෙන් සිරියානු සිවිල් යුද්ධයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බන්ධව සිටියද ඊයේ රාත්‍රියේ සහ අද අලුයම් කාලයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාව බටහිර රටවල් සිරියාවේ කරන ලද විශාලතම මැදිහත් වීම විය. එය රුසියාවට එරෙහිව කරන ලද ප්‍රහාරයක්ද විය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩු විරෝධී කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන අතර රුසියාව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට සහාය දක්වයි.

මෙ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.

සිරියාවට එස් – 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බවද රුසියාව අද නිවේදනය කර ඇත.

සිරියාව සහ ඒ අවට මේ වනවිය ඇතිවෙමින් පවතින තත්ත්වය සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන්නක් යැයි ද රුසුයිනු ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.

The post ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට පහරදෙයි – රුසියා ආරක්ෂක කවුන්සිලය කැඳවයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico