අයථා ලෙස මිලියන 30ක් උපයාගත් නාමල් රාජපක්ෂගේ නඩුවත් යළි විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද(09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැති අතර එහිදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික රොහාන් අභය ඊරියගොල්ල මහතා ගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කරනු ලැබීය.අනතුරුව විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න විමසීම අවසන් වීමෙන් පසුව නඩු විභාගය නොවැම්බර් මස තිස් වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉන්දික ප්‍රභාත් කරුණාජීව ,සුජානි බෝගොල්ලාගම ,නිත්‍යා සේනානි සමරනායක, ඉරේෂා සිල්වා සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ.

 

The post අයථා ලෙස මිලියන 30ක් උපයාගත් නාමල් රාජපක්ෂගේ නඩුවත් යළි විභාගයට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico