අප පුවත සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් පැහැදිලි කිරීමක් – පිළිතුරු දීමේ අයිතිය #SriLanka #LKA

අප පුවත සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් පැහැදිලි කිරීමක් - පිළිතුරු දීමේ අයිතිය
අදාල පැහැදිලි කිරීම මෙසේය….
 
2018.03.08 වන දින සිංහල ලංකා නිවුස් වෙබ් නෙට්හි පළවූ පුවත සම්බන්ධව
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තෙල්දෙණිය පුගති ලක්මිණි හා ස්ථානාධිපති පල්ලෙකැලේ පොසින් පරීක්ෂක පී.එන්. ජයසේකර වන අප සම්බන්ධයෙන් ඔබගේ වෙබ් අඩවියේ දක්වා ඇති කරුණු සාවාද්‍ය වන අතර එවැනි දෙබස් හෝ එවැනි සිදුවීමක් අප දෙදෙනා අතර හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අතර කිසිදු අවස්ථාවක සිදු නොවීය. නමුත් ඔබගේ කර්තෘ විසින් හුදු සිතුවිලි හුවා දක්වමින් කටකතා පැතිරවෙන ලිපි මාධ්‍යයට හරවා ඇති බව දන්වා සිටිමි.
එහිදී පල්ලෙකැලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පො.ප. ජයසේකර වන මාගේ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක තෙල්දෙනියගේ නම් විකෘති කොට පළකිරීම තුළින් ඔබ විනිස් මෙම තොරතුරු කිසිදු අවබෝධයකින් තොරව පළකර ඇති බව පෙනී යයි. වෙබ් අඩවියේ පළවූ ආකාරයට වෙඩි තැබීමේ නියෝගවලට එවැනි අසත්‍ය තොරතුරු පළකර ඇත. එම රාජකාරි සඳහා අවශ්‍ය නිළධාරීන් සංඛ්‍යාද ලබාදී තිබුණි. එකම අවස්ථාවක විවිධ ප්‍රදේශයන්හි සිදුවීම් කිහිපයක් සිදුවූ බැවින් එවැනි සිදුවීම් වලක්වා ගැනිම සඳහා අවශ්‍ය කරන්නාවූ බලය යොදවන ලදී. මෙවැනි සාවද්‍ය පුවත් තුළින් මහජනයා මෙන්ම හුදු පොලිස් නිළධාරීන්, සමස්ත රජයේ නිළධාරීන්ද වැරදි වැටහීමක් අති කිරීමට හේතු වේ. ඔබ වෙබ් අඩවියේ පළකරන ලද සාවද්‍ය පුවත නිවැරදි කර නොපමාව පළකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
 
සංස්කාරක සටහන
 
තෙල්දෙනිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රගති ලක්මිණි මහතා සහ පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එන්. ජයසේකර මහතාගේ අත්සනින් අදාල පැහැදිලි කිරීම අපවෙත එවා තිබේ. අදාල පොලිස් නිළධාරීන් දෙදෙනා පවසන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් අප වෙබ් අඩවියේ පළවී ඇති බවයි.
 
කෙසේ වෙතත් පළමුව සඳහන් කළයුතු වන්නේ, පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් අදාල පුවතේ කිසිවක් සඳහන් නොවන බවයි. පුවතේ සඳහන් වන්නේ තෙල්දෙනිය හා බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් පිළිබඳවයි.
 
මෙම පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා පවසන්නේ වෙඩි තැබීමේ නියෝග සම්බන්ධයෙන් අප අසත්‍ය තොරතුරු පළකරමින් මහජනයා සහ රාජ්‍ය නිළධාරීන් නොමග යවා ඇති බවයි. අප එහිදී සඳහන් කළේ වෙඩි තැබීමේ නියෝග ලබාදීම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාවලිය සහ ඒ සඳහා නියෝග ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙනි. එමෙන්ම ජාතිවාදී ගැටුම් හටගත් අවස්ථාවේදී එවැනි නියෝගයක් ලබාදී නොතිබීම සහ සමස්තයක් ලෙස මහනුවර සහ මධ්‍යම පළාත් භාර ඉහළ පොලිස් නිළධාරීන් දැක්වූ නොසැලකිල්ල පිළිබඳව අප පුවතේ සඳහන් කළ අතර එය මේ වනවිට රටම දන්නා කරුණකි.
 
මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා තම ඉහළ පොලිස් නිළධාරීන් ආරක්ෂා කරමින් සියලු වැරදි තමන් පිට පටවාගන්නා ආකාරය ඔවුන් දෙදෙනා එවා ඇති පැහැදිලි කිරීම හරහා පැහැදිලි වේ. පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ තෙල්දෙනිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අනුව ඉහළ පොලිස් නිළධාරීන් තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු නියෝග ලබාදී තිබේ. එපමණක් නොව අවශ්‍ය පිරිස් බලය ද ලබා දී තිබේ. එසේ නම් සිදුව ඇත්තේ පල්ලෙකැලේ සහ තෙල්දෙනිය පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිස් බලය සහ අවශ්‍ය ආයුධ ලබා දී තිබියදී පවා තත්වය පාලනය කිරීමට අසමත් වී ඇති බවයි. එසේ නැතහොත් හිතාමතා තත්වය පාලනය කිරීමෙන් වැලකී සිට ඇති බවයි.
 
පොලිස් විනය සංග්‍රහයේ ‘ඒ පරිශිෂ්ටයට’ අනුව මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා සිය රාජකාරියට අදාල කටයුතු සහ ඉහළ පොලිස් නිළධාරීන්ගේ නියෝග පැහැර හැර තිබේ. එපමණක් නොව පුද්ගල මරණයකට සහ විශාල දේපල විනාශයකට ඉඩ තබා තිබේ. හැකියාව තිබියදී නීතිය ක්‍රියාත්ම කිරීමට අසමත්වීමෙන් ජාතිවාදී ගැටුම් අවුළුවන්නන්ට වක්‍රාකාරයෙන් සහයෝගය දක්වා තිබේ. ඒ හරහා පොලිස් දෙපාර්තමේන්තුව සහ රජය, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ද අපකීර්තියට පත්කර ඇති අතර රාජ්‍ය සේවකයන්ට අදාල විනය නීති අනුව එය මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා සේවයෙන් පහකිරීම සඳහා හේතුවක් වේ.
 
අප පළකළ පුවත මගින් ප්‍රකාශ කළේ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නොහැකියාවයි. ප්‍රගති ලක්මිණි මහතා සහ පී.එන්. ජයසේකර මහතා නියොජ්‍ය පොලිස්පතිවරයාගේ බලපෑම මත මෙම පැහැදිලි කිරීම අපවෙත එවන්නට කටයුතු කළේදැයි අප නොදනිමු. කෙසේ වෙතත් අප ඉදිරිපත් කළ පුවත අසත්‍ය බව කියන්නට ගොස් සියලු වැරදි තමන් වෙත පටවා ගැනීමට මෙම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා කටයුතු කර තිබේ.
 
රජය සහ පොලීසිය අවශ්‍ය මොහොතේ ක්‍රියාමාර්ග ගත්තේ නම් මෙවැනි අවාසනාවන්ත ඛේදවාචකයක් මුල් අවස්ථාවේදීම වලක්වා ගැනීමේ හැකියාව තිබිණි. ඉහළ පොලිස් නිළධාරීන් අවශ්‍ය උපදෙස් සහ පිරිස් බලය ලබාදුන් බව ඉහත කී පොලිස් පරීක්ෂකවරුන් දෙපල පිළිගන්නා අතර එසේ නම් වරද සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා ඇතුළු කණිෂ්ඨ පොලිස් නිළධාරීන් අතිනි. කෙසේ හෝ මිනිස්කම අගය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කිසිවෙකුත් අපේක්ෂා නොකරන තත්වයක් මහනුවර ආශ්‍රිතව හටගත් අතර ඒ සඳහා අනුබල දුන්, මැදිහත් වූ ජාතිවාදීන්ට, කලහකාරීන්ට පමණක් නොව ඔවුන් සිය ජාතිය වෙනුවෙන් අනෙක් ජාතීන්ගේ ලේ රස බලන තෙක් බලා සිටි සහ වක්‍රාකාරයෙන් හෝ සහයෝගය දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතුය.
 
යම් හෙයකින් පොලිස්පතිවරයා විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා සම්බන්ධයෙන් යම්කිසි විනයානුකූල ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී අනුගමනය කළහොත් ඔවුන් දෙදෙනාට එරෙහිව අපවෙත එවා ඇති මෙම පැහැදිලි කිරීම ඉතාමත් අගතිදායක එකක් වනු ඇත්තේ රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් තම අත්සනින් යුතුව කරන ලද පිළිගැනීම (Admission) ඔවුන් දෙදෙනාව සේවයෙන් පහකිරීමට තරම් බලගතු එකක් වන බැවිනි. මෙහිදී සිදුවිය හැක්කේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගැනීමට ගොස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා තම රැකියාව අහිමි කරගැනීමයි.
 
අවසාන වශයෙන් කිවයුතු වන්නේ අප අදාල පුවතේ සඳහන් කළ කිසිවක් අසත්‍ය නොවන බවයි.
 
police





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico