අධිකරණයේදී නීතීඥවරියන්ට කලිසම් සහ ගවුම් ඇඳීමට අනුමැතිය.

නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය 2018 ඔක්තෝබර් 5 වැනි සිකුරාදා නිකුත් කර තිබේ. ඒ අනුව දණහිස් මට්ටමට පහළ සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම සහ කළු කබාය මෙන්ම වළලුකර දක්වා දිගු කළු කලිසම සහ කලිසමට යට කරන ලද කොළරය හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව කාන්තා නීතීඥවරියන් සඳහා වලංගු ඇඳුම බවට අලුතෙන් පත් වේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවතියේ 1978 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල 7 වන රීතියයි. එයට අනුව කාන්තා නීතීඥවරියන්ගේ ඇඳුම වශයෙන් පැවතියේ කළු, සුදු, අළු සහ ළා දම් පැහැති සාරිය සහ හැට්ටයත් ඊට උඩින් අඳින ලෝගුවත් පමණි.

මෙම නිල ඇඳුම වෙනස් කිරීමේ යෝජනාව පසුගිය වසරේ මුල් වරට ගෙන ආවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා විසින් අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීමක් අනුව ය. නමුත් එහි ගවොම යෝග්‍ය ඇඳුමක් ලෙස යෝජනා වී තිබුණේ නැත.

කෙසේ නමුත් පසුගිය වසරේ මෙයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ නැත.

පසුගිය සිකුරාදා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ‘‘විනිසුරුවරුන් සහ නීතීඥවරියන්ගේ නිල ඇඳුම පිළිබඳ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ 7 වන රීතිය ඉවත්කර පහත දැක්වෙන නව රීතිය ආදේශ කර තිබේ. එහි දැක්වෙන්නේ,

‘‘කාන්තා නීතිඥවරියන් පහත සඳහන් ඇඳුමකින් සැරසී සිටිය යුතු ය.
             සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති සාරිය සහ හැට්ටය හෝ දණහිස් මට්ටමට පහළ සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම, හෝ කළු කබාය සහ වළලුකර දක්වා දිගු කළු කලිසම සහ කලිසමට යට කරන ලද කොළරය හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව

              ගර්භනී ඇඳුම, සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහළ උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දක්වා ඇති නිවැරදි වර්ණයෙන් හෙබි සාරිය සහ හැට්ටය වේ.‘‘

යනුවෙනි.

මේ අනුව සම්ප්‍රදායික කාන්තා නීතීඥ ඇඳුම වන සාරිය සහ හැට්ටයට අමතරව ගවොම සහ කලිසම්-කමිස ද පසුගිය සිකුරාදා පටන් නීතීඥවරියන්ගේ යෝග්‍ය නිල ඇඳුම බවට පත් වේ.

මේ අතර, මෙම ඇඳුමේ සිදුවන වෙනස සමග කාන්තා නීතීඥවරියන් විසින් පැළඳිය යුතු පාවහන් පිළිබඳ විශේෂ සඳහනක් කර නැත.

– අමාලි ජයවීර

අදාළ ගැසට් නිවේදනයේ මෘදු පිටපත මෙතැනින්- 

The post අධිකරණයේදී නීතීඥවරියන්ට කලිසම් සහ ගවුම් ඇඳීමට අනුමැතිය. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico